Friday, January 2, 2026

Fact Check

අදානි සමාගමේ සුළං මෝල් ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක අවලංගු කළාද? 

Written By Pramodha Weerasekera
Dec 14, 2024
banner_image

වාර්තාව: ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදානි සමාගම සමඟ ක්‍රියාත්මක වීමට තිබූ සුළං මෝල් ව්‍යාපෘතිය අවලංගු කර ඇත.

කරුණ: මෙම සුළං මෝල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බව කැබිනට් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදානි සමාගම සමඟ ඩොලර් මිලියන 442 ක සුළං මෝල් ව්‍යාපෘතියක් අවලංගු කර ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් හුවමාරු වෙමින් පවතී.

මෙම පුවත ගෞතම් අදානිගේ ඡායාරූපයක් සමඟ TikTok, Instagram සහ Facebook ඇතුළු සමාජ මාධ්‍යවල ප්‍රචලිත වෙමින් පවතී. එවැනි TikTok එකක් මෙතනින්.

Screenshot from TikTok post

මෙම සුළං මෝල් ව්‍යාපෘතිය කුමක්ද?

2022 දී, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම සහ පුනරින් සුළං බලාගාර දෙකක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය ප්‍රකෝටිපති ගෞතම් අදානිගේ අදානි සමාගමේ බලශක්ති අංශය වන Adani Green Energy Limited (AGEL) සමඟ ගිවිසුමක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලදී. අදානි සමාගම සමඟ එක්ව මෙම සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා තාවකාලික අනුමැතිය ලබා දී ඇත්තේ පසුගිය රජයයි. මෙම ගිවිසුම සමඟ මෙගාවොට් 484 ක ධාරිතාවක් නිෂ්පාදනය කිරීම සඳහා AGEL සමඟ වසර 20 ක බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් (Power Purchasing Agreement: PPA) ද වේ. PPA එක සම්බන්ධයෙන් වැඩි විස්තර මෙතනින්.

2022 මාර්තු 7 වන දින පැවති සැසියකදී අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා රජය සහ AGEL අතර අවබෝධතා ගිවිසුමක් (Memorandum of Understanding) අනුමත කරන ලදී. ඊට පසුව AGEL සමාගම විසින් සපයන ලද යෝජනාවේ ශක්‍යතා තක්සේරු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ නිර්දේශ මත පදනම්ව, බලශක්ති අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව සුළං මෝල් මඟින් නිපදවන විදුලිය මිලදී ගැනීම සඳහා එම සමාගමටම ටෙන්ඩරයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය. ටෙන්ඩරයට අනුව, සුළං මෝල් ඉදිකිරීමෙන් පසු, AGEL විසින් අවසන් මිල වන විදුලි කිලෝවොට් පැයකට ඇමරිකන් ඩොලර් ශත 8.26 ක් (හෝ වත්මන් විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියලට සමාන මුදලක්) ගෙවනු ඇත.

Screenshot of the cabinet paper approving the project

පාරිසරික ගැටළු, ගෝලීය ප්‍රමිතීන්, විනිවිදභාවය සහ තවත් ගැටළු කිහිපයක් සමඟින් මෙම PPA හි මිලකරණය පුළුල් ලෙස විවාදයට ලක්ව ඇත. සමහරක් ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ය.

කරුණු පරීක්ෂා කිරීම (Fact Check/Verification)

මූලික විග්‍රහයේදී අපි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිල සමාජ මාධ්‍ය පිටු, ජනාධිපති මාධ්‍ය අංශයේ, සහ බලශක්ති අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවි පරීක්‍ෂා කළ නමුත් එවැනි ප්‍රකාශයක් පිළිබඳ කිසිදු වාර්තාවක් අපට හමු නොවීය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කළ වීඩියෝවක් අපට හමුවුණා.

වීඩියෝවේ ඔහු ප්‍රකාශ කරන්නේ,

“අදානි විදුලිය නිෂ්පාදනය කරනවා, අපි ගන්නවා. PPA එක sign කළා. Unit එකක් අපි ගන්නේ ඇමරිකන් ඩොලර් 0.082කට… ඊට පස්සේ අපි එතනම එහා පැත්තේ මෙගා වොට් 50ක mill power එකක් අපි tender කරා. ඒ 50 කරන්නේ ලංකාවේ සමාගමක් Green Force කියලා. Green Force කියන සමාගම ඩොලර් සත 0.488යි…මෙගා වොට් 450ක් හදනවා ඩොලර් සත 0.82ට. සාමාන්‍යෙන් වැඩියෙන් හදනවා නං අඩු වෙන්න ඕනේ නේ. මට හිතෙන්නේ මෙතන අයතා ගණුදෙනුවක් තියෙන්නේ. අනිවාර්යෙන්ම මේක cancel කරනවා.”

හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් 2024 ඔක්තෝම්බර් 9 වැනි දින පැවති කැබිනට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මෙම ගිවිසුම බලරහිත කරන ලෙස ඉල්ලා මානව හිමිකම් නඩු කිහිපයක් ගොනු කර ඇති බවයි. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයට විමර්ශනය කිරීමට අවසර දීම සඳහා අධිකරණයෙන් අමතර කාලයක් ඉල්ලා සිටින ලෙස ඔවුන් නීතිඥවරයාට උපදෙස් දුන් බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, නව රජය පිහිටුවීමෙන් පසු අදානි සමාගම සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම් සම්බන්ධයෙන් නව තීරණයක් ගෙන නොමැති බව ඔහු තහවුරු කළේය.

මීට අමතරව, 2024 නොවැම්බර් 26 දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අදානි සමාගමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ තීරණ පිළිබඳව විමසා සිටිය හ. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ අදානි සමාගමේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති පිළිබඳව රජය විසින් වාර්තා ඉල්ලා ඇති අතර එම වාර්තා ලැබීමෙන් පසු ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවයි. මෙම ගිවිසුම් සම්බන්ධයෙන් මේ වන විට අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු තහවුරු කළේය.

නිගමනය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදානි සමාගමේ සුළං මෝල් ව්‍යාපෘතිය අවලංගු කර ඇතැයි කියන වයිරල් ප්‍රවෘත්තිය අසත්‍ය ය. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බව කැබිනට් අමාත්‍ය නලින්ද ජයතිස්ස තහවුරු කළේය. මීට අමතරව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර කළ ප්‍රකාශයක් වත්මන් සන්දර්භය තුළ යොදාගෙන ඇත්තේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නිසා ජනතාවට අසත්‍ය තොරතුරු ලබා දෙමිනි.

ප්‍රතිඵලය: අසත්‍ය

අපගේ මූලාශ්‍ර

ප්‍රවෘත්ති වාර්තාව, Daily FT, 2024 මැයි 8
කැබිනට් තීරණ පිළිබඳ මාධ්‍ය නිවේදනය, 2024 මැයි 6
සටන වැඩසටහන් වීඩියෝව, News 1st YouTube නාලිකාව, 2024 සැප්තැම්බර් 14
කැබිනට් මාධ්‍ය හමුව පිළිබඳ පුවත් වීඩියෝව, Daily FT YouTube නාලිකාව, 2024 ඔක්තෝබර් 9
කැබිනට් මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ පුවත් වීඩියෝව, News 1st YouTube නාලිකාව, 2024 නොවැම්බර් 26


වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, checkthis@newschecker.in හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.

image
If you would like us to fact check a claim, give feedback or lodge a complaint WhatsApp us at +91-9999499044 or email us at checkthis@newschecker.in​. You can also visit the Contact Us​ page and fill the form.
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
Newchecker footer logo
About Us

Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check

Contact Us: checkthis@newschecker.in

83

Fact checks done

FOLLOW US
imageimageimageimageimageimageimage